Monday, March 27, 2017

මොනවද මේ ක්ලවුඩ් ස්ටොරේජ් (Cloud Storage ) කියන්නෙ ?


Cloud Storage


           මොනවද මේ ක්ලවුඩ් ස්ටොරේජ් (Cloud Storage ) කියන්නෙ ?   ඔව් අද මේ ලිපියෙන් මා සඳහන් කරන්න උත්සාහ කරන්නෙ ක්ලවුඩ් ස්ටොරේජ් ගැනයි. ඊට කලින් අපි බලමු මොනවද මේ ඩේටා ස්ටොරේජ් ඩිවයිසස් කියන්නෙ කියල. හැමෝම දන්නව පරිගණක දෘඩ තැටිය, එහෙම නැත්නම් තේරෙන විදිහට හාඩ් ඩිස්ක් එක කියන්නෙ මොකක්ද කියල. පරිගණකයක භාවිතා වන සියළුම ලිපි ගොනු සාමාන්‍යයෙන් ගබඩා කරල තියා ගන්නෙ මෙම දෘඩ තැටිය තුළයි. එය නූතන පරිගණක විකාශයේ මුල් කාලෙදි ම හඳුන්වා දුන් දෙයක්. මං මේ කියන්නෙ වින්ඩෝස් 2000 වගේ මෙහෙයුම් පද්ධති වලට සරිලන සේ සැකසූ පරිගණක හඳුන්වා දීමත් සමඟයි. හරි. මං හිතන්නෙ ඒ ගැන ගොඩක් කියන්න ගියොත් මේ ලිපිය එපා වෙන්න පුළුවන් කියල කට්ටියට.

       අපි දෘඩ තැටියෙන් පටන් ගම්මුකො. එක එක ධාරිතා වල දෘඩ තැටි වෙළඳපලට නිකුත් වුනා. උදාහරණයක් විදිහට 8GB, 16 GB, 40 GB, 80 GB වගේ කුඩා ධාරිතා වල දෘඩ තැටි වගේ ම වර්තමානය වනවිට 1TB, 2TB වගේ ධාරිතා වලින් යුත් දෘඩ තැටිත් වෙළඳපළටට නිකුත් වෙලා හමාරයි. ඒත් අපට දෘඩ තැටි පමණක් ප්‍රමාණවත් වුනේ නැහැ. ඒකට හේතුව තමා අපට තැනකින් තවත් තැනකට යම් ලිපි ගොනුවක් ‍රැගෙන යන්න මේ දෘඩ තැටි භාවිතා කරන්න අපහසු නිසා.

             ඉතින් මුලින් ම ඒ සඳහා ෆ්ලොපි ඩිස්ක හඳුන්වා දුන්නා. ඒකෙ ගබඩා කරන්න පුළුවන් ඩේටා ප්‍රමාණය නම් ඉතාම සීමිතයි. 1.44 MB පමණ වුනා. ඒක පොඩි අගයක් වුනාට ඒ කාලෙ නම් ගොඩක් ප්‍රයෝජනවත් වුනා. ඒට පස්සෙ CD/DVD යුගය ආරම්භ වුනා. CD එකක 700 MB පමණත් DVD එකක 4.7 GB දක්වා පමණත් ගබඩා කර ගන්න පුළුවන් වුනා, එය පෙර පැවති ෆ්ලොපි ඩිස්ක වලට සාපේක්ෂව ඉතා ලොකු අගයක් කියල තේරෙනවනෙ. ඊටත් පස්සෙ තමා පෙන් ඩ්‍රයිව් සහ හාඩ් ඩිස්ක භවිතය ඇරඹුනේ.
හරි. මේ මොන තාක්ෂණේ ආවත් එක ගැටලුවක් වුනා, ඒක තමා අපට මේ ඩිවයිස් එකක් ගෙනියන්න අමතක වුනොත් ඒවයෙ තියෙන දත්ත ලබා ගන්න ආයෙමත් ඒක තියෙන තැනට ම යන්න වුනු එක. හිතන්නකො අත්‍යවශ්‍ය වැදගත් ෆයිල් එකක් පෙන් එකකට හරි පොර්ටබල් හාඩ් ඩිස්ක් එකකට හරි දාගෙන ඒ පෙන් එක හරි හාඩ් එක හරි ගෙනියන්න අමතක වුනොත් වෙන දේ. ආයෙමත් ඒක තියෙන තැනට ම එන්න වෙනව නෙ. ඉතින් මේකට විසඳුමක් නැද්ද ? ඔයාලට ඒ ප්‍රශ්නෙ තියේ නම් ඒකට පිළිතුර ඔව් තියෙනව කියන එකයි. එහෙනම් මොකක්ද ඒ විසඳුම කියල ඔයාල අසාවි.

           ඔව්. ඒකට විසඳුම තමා ක්ලවුඩ් ස්ටොරේජ් කියන්නෙ. මෙතනදි වෙන්නෙ මෙම සේවා සපයන ආයතන වල ලියාපදිංචි වෙලා නැත්නම් තේරෙන විදිහට ඔන්ලයින් එකවුන්ට් එකක් හදාන අපේ දත්ත එයාලගෙ ස්ටොරේජ් වල නැත්නම් දත්ත ගබඩා වල ගබඩ කර තියා ගන්න එකයි. එතකොට ඔයාල අහයි එහෙම නම් කොහොමද ආයෙමත් ගන්නෙ එකවුන්ට් එක හදපු කම්පියුටරෙන් ම ලොග් වෙන්න ඕනිද කියල.
 නැහැ. ඇත්තට ම ඔයාලට ලෝකයෙ කොහෙ වුන්නත් අන්තර්ජාල පහසුකම තියෙනව නම් තමන්ගෙ එකවුන්ට් එකෙ Username, Password භාවිතා කරල ලොග් වෙලා තමන්ගෙ දත්ත ලබා ගන්න පුළුවන්. ඒ විතරක් ද ? ඔයාලට පුළුවන් මේ ලිපිගොනු ඉතාම ලේසියෙන් තවත් කෙනෙක් එක්ක හුවමාරු කර ගන්න. ඒ තුළින් වෙනත් රටක සිටින කෙනෙක්ට වුනත් ඔයාගෙ දත්ත ගොනුවක් ලේසියෙන් ම යවන්න පුළුවන් ලින්කුවක් විදිහට ඒ ලින්කුවට පිවිසිලා බාගත කර ගන්න කියල. අනිත් එක හිතන්නකො ඊමේල් කරල යවන්න අමාරු ලොකු දත්ත ප්‍රමාණයක් කියල. එතකොට අපට ලේසියෙන් ම මේ වගේ සේවාවක් භාවිතා කරල අපේ ඒ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. දත්ත ආරක්ෂාව ගැන හිතන්නකො. අපේ වටිනා ෆයිල් එකක් හාඩ් ඩිස්ක් එකේ තිබිල හාඩ් ඩිස්ක් එක දැවී යන අවස්ථාවක් ගැන සිතන්න. අපේ ෆයිල් එක නැවත් ලබා ගන්න අමාරුයි නේද අපට ? ගොඩක් වෙලාවට බැරි වෙනව. ඒත් අපි මේ ෆයිල් එක ක්ලවුඩ් එකක දාල තිබ්බ නම් එහෙම වෙන්නෙ නැහැ කියන එක තේරෙනව නේද ඔයාලට ? මොනවද මෙවැනි සේවාවන් සපයන වෙබ් අඩවි ? ඔව්. බොහෝවිට ඔබ අසාවි. කිහිපයක් ම තියෙනව නොමිලයේ ම යම් සීමා සහිත ක්ල්වුඩ් ස්පේස් එකක් සපයන. Dropbox, Mediafire, Onedrive, Google Drive කියන්නෙ ඒවගේ කිහිපයක්. තව තියෙනව ඕනෑ තරම්. ඔයාලට කරන්න තියෙන්නෙ ඒ වගේ එකක ‍ෆ්‍රී එකවුන්ට් එකක් හදා ගන්න එක විතරයි.
 එයාල නොමිලයේ දෙන ඉඩ ප්‍රමාණය මදි කියල හිතෙනව නම් තව වැඩිපුර ඉඩ ප්‍රමාණයක් මිළදී ගන්නත් පුළුවන්. ක්ල්වුඩ් ඩිවයිසස් වල තවත් වාසි මං මෙහෙම කෙටියෙන් කියන්නම්

 1. එක් වරක් පමණක් අප්ලෝඩ් කරන නිසා විටින් විට ඇටෑච්මන්ට්ස් විදිහට හරි අප්ලෝඩ් කරන්න හරි යන ඉන්ටර්නෙට් ඩේටා ප්‍රමාණය ඉතිරි වෙනව.

  2. ඉතාම පහසුවෙන් අප්ඩේට් කරන්න පුළුවන්, හිතන්නකො Onedrive වල ගබඩා කලා කියල MS Word ෆයිල් එකක්. ඔයාට ලේසියෙන් ම ඒක MS Word හරහා ක්ලවුඩ් එකේ තියෙද්දි ම වුනත් ඕපන් කර ගෙන එඩිට් කරල සේව් කර ගන්න පුළුවන් ඉතාම කෙටි වේලාවකින්.

 3. ජංගම දුරකථන වලට මෙම ක්ලවුඩ් සේවාවන් ඇක්ටිවේට් කරල තියාගෙන පුළුවන් අළුතෙන් අපි ගන්න ඡායාරූප වගේ දේවල් වුනත් ඉබේම මෙම ක්ලවුඩ් සේවාවන්ට synchronize වෙන්න දෙන්න. එතකොට අපට අමතක වුනත් අප්ලෝඩ් කර ගන්න අපි ඉන්ටර්නෙට් කනෙක්ට් වුනු ගමන් ඉබේම ඒ වගේ දේවල්, අපේ ෆෝන් බුක් එක වුනත් synchronize වෙනව.

 හරී. මේ කිව්වෙ ඉතාම කෙටියෙන්. මං හිතන්නෙ මොනවම හරි අළුත් දෙයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති. ඔයාලගෙ වටිනා අදහස් උදහස් අපට ගොඩාක් වටිනව. ඉතින් ඒවත් යොමු කරන්න කියල ඉල්ලමින් මෙතනින් මෙම ලිපිය අවසන් කරනවා. ආයෙමත් දවසක හම්බවෙමුකො එහෙනම්...



No comments: